පංචිකාවත දිවියේ දී හමුවන විදේශික මිත්‍ර Patrick ගේ කොටදෙනියාවේ පොල්වත්තේ රැකියාව තාත්තාට අහිමි වන්නේ ඔහුගේ මරණයත් සමගය. මට මතක හැටියට එකල මා සාමාන්‍ය පෙළය. නංගි මට වඩා වසර පහක් බාලය.
දින කීපයකට පසු ලැබුණු හෝඩුවාවකට අනුව රැකියාවක් සොයා තාත්තා පිඹුරත්තෑවට යන්නේය. අරමුන කම්කරු රැකියාවකි. අපේ ජීවිත වලට නම් එය තානාපති කමක් මෙන් මහා ලොකු දෙයකි.
කොම්පැණිය කොරියන්ය. නමින් කියන්නෑම් ය. ඉන්නේ කොරියානුවන් ය. සුදුසුකම් ලෙස බලන්නේ අතපය තිබීම, විධානය ඇසීම, කරන්නට පෙනීම පමණි. තාත්තාගේ වාරය පැමිනේ. ඔහු කොරියාට කඩුවෙන් කොටන්නේය. කොරියාට කඩුහරඹ බැරිය. එය බොහෝ කොරියන් ට පොදු වූ සාධකයකි. ඌට වැටහෙන එකම දෙය තමා ඉදිරියේ සිටින මේ මිනිසාට කම්කරුවකුට වඩා වෙනත් රැකියාවක් ලබා දිය යුතු බවයි. කොරියාට ලබා දිය හැකි ඉහළම තනතුර වූ ෆෝමන් තනතුරක් තාත්තාට ලැබේ.
එය මහත් ඉහළ රැකියාවකි. ඕටී ද ඇතුලුව මසකට රුපියල් 4500 ක් පමණ ලැබේ. තාත්තා යටතේ කම්කරුවන් 15ක් 20ක් පමණ වැඩ කරති. මහවැලියේ නව ජනපද පෙදෙසක් වන සඳුන්පුර, බුරුතගස්පිටිය පෙදෙස්වල කැලෑ බිම එක යායට ඩෝසර් කර ඇත. ඇළවල් කපා ඇත. බෝක්කු දමා නැත. එහි බෝක්කු දැමීම කණ්ඩායමේ කාර්යයි.
දසත දූවිල්ලය. කාෂ්ටකය. ඩෝසර්කරු ගරු කර තිබුණේ අතිශයින් කුදු වී ගිය රීප්පයක්වත් ගත නොහැකි වක් වූ රුක් දෙවියකුට පමණි. දාහය නිවන්නා ද රැගෙන ආවේ දූවිල්ලය. උදෑසන කුමක් ඇග ලා ගත්තද හවසට දුඹුරු පැහැතිය. කට දූවිලි රසය. කොණ්ඩය ටින්ට් වේ. නාස් පුඩු වැසේ.
කොරියානුවන් බොහොමයක් ආගමක් නොඇදහූහ. පාපය විනෝදයක් විය. කලු බල්ලන් හැර සියලු බල්ලන් කා දැමූ උන් මහා පාපකරුවෝ බව බව්ද්ද කම්කරුවන්ට හැගින. සියලු උරගයන්ගේ ඉරනමද එලසම විය. මල් ඉබ්බෝ කෑමට බිය කොරියෝ උන්ව ට්‍රක් රථ රෝද වලට තබා කුඩුපට්ටම් කර විනෝද වූහ. මේ සද් කාර්යන් සදහා බැතිබර දායකත්වය ලබා දෙමින් තරගෙට සතුන් සැපයූවේ අපේ එවුන්ය. ඒ මුදල් හෝ නැටුම් තෙල් වෙනුවෙනි.
තාත්තා යටතේ එකවර කුඩාම කුඩා බෝක්කු තුනක් පමන හැදෙයි. කම්කරුවන් හා මේසන් බාස්ලා (ඇත්තටම උන් කොරියන්ව රවටා මේසන් බාස්වරු වූ කම්කරුවන්ය) ස්තානගත කොට බලා ගැනීම තාත්තගේ භාරදුර කාර්යයකි. බෝක්කු අතර ගමන් කිරීමට ඇති වාහනය දෙපය ය. ලොකු කොරියෝ අනුමත සිමෙන්ති ප්‍රමාණයෙන් කොටසක් ගසා කා බාස්ලාට දෙති. පොඩි කොරියෝ එතනින්ද කොටසක් ගසා කන්නේ වැටුප කෙලින්ම කොරියාවට යැවීමේ විපාකය ලෙසිනි. බාස්ලාට හම්බෙන එකෙන් උන්ද කොටසක් වාෂ්ප කරති. තාත්තා උඩ බෝක්කුවේ සිට යට බෝක්කුවට ගාටද්දී උඩ එව්න් ගසති. යට සිට උඩට යද්දී මෙහෙ එව්න් සිමෙන්ති, ගල් අතුරුදහන් කරති. ඔවුන් මහ පොලව හැර සියල්ල අතුරුදහන් කිරීමේ මැජික් ශූරයින් බව තාත්තා කීවේය. හවසට වැනි වැනී උන් ඒ මැජික් රහස් වමාරති. සියල්ල අතුරුදහන් කිරීමේ ප්‍රතිපලය ලෙස හැදූ බෝක්කු ඇත්තටම වැලි බෝක්කු විය. පළමු දිය වරෙන්ම ඒවා දිය වන්නට ඇති බවකි අදටද තාත්තා කියන්නේ.
උදේට ට්‍රක් රථයේ කිලෝමීටර 30ක් විතර ගෙන ගොස් බැස්සවේ. හවසට එක්කාසු කෙරේ. ගමන ට්‍රක් රතයේ පිටුපස දූවිලි කමින්ය. දවස් පඩි බැවින් ඔහු ගෙදර එනවාට වඩා මා එහි යාම ඔහු ප්‍රිය කළේය. මාසයකට පමණ සැරයක් සතිඅන්තයේ බසෙහි නැඟී ඔහු බලන්නට ගියා මතකය. අද මෙන් එකල ජංගම කතා නැත. දැන් නම් ජංගමය වැඩ නැත්තං හිතන්නේ ගෙදර එකා මැරිලා කියාය. එකල උන්නාද මලාද දන්නේ දුටු විට පමනි. ඊට හපං දෙපැත්තෙන්ම තරගෙට මරති.
තාත්තා නවාතැන් ගෙන සිටියේ ජනාවාස වෙමින් පැවති පෙදෙසකය. එය බාහිර ලොවින් වෙන්ව පැවති ග්‍රහලෝකයක් මෙනි. ලයිට් නැත. ජල මූලාශ්‍ර සැතපුමකට එකකි. බිම හෙලන ලද වීර, පලු ගස් වල මුල් අතරින්, අඩි පාරවල් සොයමින් ක්ශිතිජ ඉසව්වේ ගොම මැටි ගෙවල් සොයා යා යුතු විය. පේන මානෙක කඩයක් නැත. තිබුනද සියලු බඩු පොහොර උරයකට එකතු කල හැක. පෘතුවියෙන් වෙන්ව අභ්‍යවකාශයේ ජීවත්වනවා මෙනි. හූවක දුරින්වත් ගෙයක් නැත. ජනාවාසයක් බිහිකිරීමට උර දෙන්නෝ කොතරම් දුශ්කර ක්‍රියාවක නියැළෙන්නේද යන්න මා සියැසින් දැක්කෙමි. මින්නේරි, මැදිරිගිරි, ඇලහැර ජනපද අද මෙන් සස්‍රික කරන්නට එදා මිනිසුන් මැලේරියාවද කරපින්නාගෙන කොතරක් දුර එන්නට ඇතිදැයි මට දැනින.
සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් තොරව ලබා ගන්නා දැනුම දෙනෙත් පියාන මහා සයුරට විසි කරනා නිල් මැනිකක් බවටත්, එසේ ලද ශිල්ප සතරින් සන්නද්ධ වන්නා සක්කරයා වුනත් බඩගින්නට බටකොල කන්නට සිදු වන බවටත් තාත්තා ජීවමාන සාධකයකි.
ප්‍රබන්ධයක් නොවේ.
අරවින්ද හබක්කල.

Comments

Popular posts from this blog

මගෙ දූට අපහාස කල තට්ටයා

දිලීප්ගේ ලේලි.