බෝගහන්දියේ කඩ කාමරයක පැත්තක නිදා ගත් තාත්තා අලුතින්  ඉදිවන ජනාවාස පෙදස වෙත පල්ලම් බහින්නේ පසුම්බිය තවත්  රුපියලකින් හෝ බර කර ගන්නටය.

සැබවින්ම  ඒ ජන පොකුරු වැලි කතරේ කෙම්බිම් අත්දැකීමකි. දෙමසකට වරක් විතර එහි යන මට එය කටුක අත්දැකීමක් නොවූයේ මාගේ එදිනෙදා ජීවිතයද එලෙසම වූ එකක් නිසාවෙනි. අන්දර කටු ඇනුන දෙපා කූරටියා මුල් වලට රිදුම් නොදෙන බව මට ජීවිතයේ මුල් අවදියේදීම පසක් කර දුන්නේ එකිනෙක පරයා ලැබුන සංසාරගත කර්ම විපාකයන්‍ ය.

තාත්තා සොයාගෙන යන මා
 ( ඇත්තටම තවමත් මට තාත්තාව සොයා ගන්නට බැරිය. ඔහු යන්නේ වෙන පාරකය) ගමන අරඹන්නේ උදෑසනම බත් මුල් දෙකක්ද අරගෙනය. එකක් දවල්ට මට තනියෙන් කන්නටය. අනික තාත්තාත් සමග අම්මාගේ සෙනෙහස රෑට බෙදා ගන්නටය.
තල්පොතින් පොලොන්නරුවට සැතපුම්  දොලසකි. උදේම බසය ඇල්ලුවේ නැත්තං ආයෙ හවසය.

රෙසිවේසමක් වූ අපේ වත්ත ඒ වන විට මුඩු බිමක්ව පැවතියේ තාත්තාගේ සරු දෑත කොරියන් කාරයන්ගේ කියන්නෑම් කොම්පැනියේ කොන්ක්‍රීට්  අතර සිර ව තිබූ බැවිනි.

කෙසෙල් කොලයේ බත් රසය. එය දර ලිපට අල්ලා පදම් කල විට මුලු බත් පතම සුවදය. ඔය ලග වැලි මුසු කරමැටි බිමේ හැදුන පැනිතෝර කොල මැල්ලුම, බන්ට් එකෙන් කඩා ගන්නා පෙතං මලින් හදන පෙතං මල්  බැදුම, මහතුං මාමාගෙන් ඉල්ලා ගත් මුං ඇට වලින් සාදන මාලුව, කලකට  සැරයක් ගෙනෙන සැමන් ටින් තෙල්දැමීම අම්මාට හිමිදිරියේ  අරඹන්නට හැකි වන්නේ කලින් දින සිට එකතු කර ගත් අඩුම කුඩුම නිසාය.

කෙසෙල් ගස්  තිබුනේ අල්ලපු වත්තේය. ඇති පදම් කෙසෙල් ගස් තිබුනත් ඉල්ලූ විට ඒ නැන්දා කපා ගන්නට කොලයක් පෙන්නන්නේ මුල වත්තේම වට දෙකක් කැරකීය.  නැන්දාගේ වැඩ අහවරව එන තුරු අපිට සෑහෙන වෙලාවක් ඉන්නට වූ වාරද ඇත. ඒ නැන්දා හරි පින්වත් ය. කිරි අම්මාගේ දාන වලට ඕනෑ දුරකට කැදවන්නේ පින් දීමේ පාර්ට් එක සුපිරියට හයියෙන්ම දෙන නිසාය.

කොහොම උනත් ඉතිං  අපි ඉල්ලූ විට දෙන්නට ලෝබය. ඉල්ලන්නේ නැත්තං ඉන්නේ දෙන්න බලාගෙනය . සමහර ගෑනුත් එසේමය. එය උගත්තේ තාත්තාගෙන් නොව කියවූ පොතකින්ය. පොතේ නම අසන්නට එපා
 කියන්නේ නැතිය. 

නංගිව සිරිවර්ධන මාමලාගේ ගෙදර නවතා හන්දියට එනකං අම්මා එන්නේ මට තනියෙං යන්න පුලුවන් බව දැන දැනය. යන්නට කලින් දා හවස කපා ගෙනා කෙහෙල් කොලේ පිනි බාන්නට තියන අම්මා පොතකින් කඩා ගත් කොලයකින් නාත්තාට ලස්සන අකුරෙන් හසුනක් ලියන්නේය. අම්මාගේ අත් අකුරු අද කාලේ සුපර් ස්ටාර්  කෙල්ලෝ වගේ බෝලය. දිලිදු අපි කෙදිනකවත්  අසු වෙන පොතකින් කොල නොකැඩුවෙමු. ඒ සදහා වෙනම එක්සයිස් පොතක් තබා ගන්නට තාත්තා  අපව හුරු කර තිබින. හිස් මැහිතෙල් බෝතලයකින් නිමැවූ   ලාම්පු එලියෙන් අම්මා  ලියන්නේ ය.

නංගිත් මාත් කනා මැදිරියෝ හා රෑ බදුල්ලෝ අල්ලන්නේය. උන්ගේ එලිය මනරම් හා කුහුල උපදවන්නේය. වත්තේ කෙරවල ඇති තුන්හිරියා පන් වලේ මායිමේ ඇති ගිනිසීරියා ගස් නිමි නිමී බැබලෙන ලයිට් එලියෙන් නැහැවී ඇත. එය අද  දරුවන්ට සිතන්නවත් බැරි සුන්දරත්වයකි. ඒ දිලිසුනේ වටු කුරුල්ලන් මැනවින් නිමවන ලද කූඩු වල එලිය සදහා කනාමැදිරියන් අල්ලන් ගොස් මැටි ගසා ආලෝකය ලබා දීමට රැදවීම නිසා බව අපි විශ්වාස කලෙමු.

 ගෙම්බෝ රැහැයියෝ එලි වෙන තුරු අපිට සංගීතය සපයන්නේය. වැස්ස තිබුනත් නැත්තත් අපිට උන්ගෙන් අඩුවක් නොවුනේ ගෙදරට  අඩි දෙකක් එපිටින් දිය අගලක් තිබුන නිසාවෙනි.  බ්ත්තියේ එක මායිමක තුබසක්ද තිබූ බව ඔබ විශ්වාස  නොකරනු ඇත. වහලයේ පොල් අතු  පලය ඉදිරියට අඩි පහක් පමන දික් වූ තැන අහු ගසකි. එහි ලේන් කූඩුවක් හෝ දෙකක් නොවැරදින. අපේ ගෙදර වහන්නට හරිහමන්  දොරක් කිසි දිනක නොතිබුනේ රකින්නට දෙයක් නොතිබූ බැවිනි.
වැසි කාලයට මහ රෑ නින්දෙන් ඇහැරුනේ නියමිත කාලේ පොල් අතු මාරු කරන්නට තත්තාට බැරි වුන මාස් කන්න වලදීය. වැස්ස පායා හිරු නැගි යල් කන්නයේ අපි නිදා හත්තේ උඩින් වියන් බැදලාය. ඒ රෑ තිස්සේ වේයෝ පොල් අතු අස්සේ සෙල්ලං කර අපට පස් දෙන නිසාවෙනි. එහෙත් නින්ද යනතුරු ඇසෙන උන්ගේ චිරි ච්රි හඩ වලකන්නට අම්මාගේ වියනට නොහැකි විය.

   කොඩැක් වර්ගයේ කැමරාවක් හෝ අප සතුව තිබුනා  නම් අද මා සතුව අපේ මාලිගයේ  පින්තූරයක් තිබෙන්නේය. එහෙත් 80 දශකයේ  මේ සියල්ල කෙලෙසවත් නොවෙනස්ව එලෙසම 90 දශකයේදීත් තිබූ බව ඒ පැලට ගොඩ වැදුනු මාගේ සරසවි මිතුරන් අදටත් සාක්ෂි  දරනු ඇත.

අම්මා තාත්තාට දෙන්නට ගුලි කර දුන් හසුනේ තිබුනේ මොනවාදැයි  මම අදටත් දන්නේ නැත.  කන්නට කලියෙන්ම ලිපිය  කියවන තාත්තාගේ ඇස් වල කදුලු කැට තිබෙනුත් බත් පත තාත්තාට කීප සැරයක්ම හිර වෙනුත් ඒ ගිය සෑම වතාවකම මා රැයෙහි තරු එලියෙන් දුටුවෙමි. තාත්තාගේ තෙන ඇස් කලාමැදිරි එලි මෙන් දිලිසින.  අපි කිසිවක් කතා නොකලෙමු. රැහැයි හඩ හා මැඩියන්ගේ කරච්චලය මට අම්මාවත් නංහිවත් සිහි කලේය. තාත්තාට මට වඩා ඇසෙන්නේය.  කෙහෙල් කොලයේ සිරකල ආදරය අපිට බර වැඩි විය.

ඉරබටු තරුව පහන් තරුවක්ව පාර කියනතුරු මිදුලේ එලූ ගල්ලැහැ පදුරේ මම තාත්තාට තුරුලුව දැස් පියා ගතිමි.
නිහඩවම රූරා වැටුන කදුලු  කැට ජීවිතයේ බොහෝ බොහෝ දේ කියා දුනි. මා හැඩුවේ ඇයිදැයි නොහැගුන මුත් මෙය ලියන මා දැනුදු හඩමි.

කිසිවක් නොකියන්න. හිස් අවකාශය කැමති දිනක කැමති දෙයකින් ජීවිතය පුරවනු ඇත.
සලු පිලි වලින් වසා සිටිනේ සිරුරේ නිරුවත නොව ජීවිතයේ නිරුවත යි. අද රෑට ඔබේ දරුවාත් එක්ක මිදුලට බැස අහස යට නිදියන්න. අර පහන් තරුව තාමත් පාර කියනවා කතරේ කෙම්බිමක් සොයන අතරමං වුන මිනිස්සුන්ට. ඔබ අහස දෙස නොබලන නිසා පහන් තරුවට ඔබව පේන්නෙ නැහැ. දරුවො තරු අදුනන්නෙ කොහොමද ඔබ එය දැක නැතිකොට  හඩන්නට දෙන්න දරුවන්ට. දුක දැනුනම කෑ ගහල අඩන්න.  සතුට දැනුනාම නටන්න. දැනෙන දේ අල්ල ගන්න. ගිලිහෙන දේ අත හරින්න.

අපි අසරණයි. අහස කොච්චර ලොකුද? අපි කව්ද? වැලි කැට තරම් පොඩි මිනිස්සු. තරු කැට  තිබූ තැන්වලමයි. වැලිකැට පෙරලෙනවා. ගංගාව ගලනවා!!

 වියලි කාලයක් ආවත් වැසි වැටෙනවා සත්තයි. අදහන්න සොබා දහම. එයා ඉපදුනේ අපිට කලින්. අපි නැතත් එයා ඉන්නවා. ආදරෙයි කියූ අය ඔබ නාදුනන කෙනෙකුගේ අතේ එල්ලී ඉටි පහන් දල්වාවි සොහොන් කොත ලග.

අරවින්ද  හබක්කල.

Comments

Popular posts from this blog

මගෙ දූට අපහාස කල තට්ටයා