88/89 මාගේ පුද්ගලික අත්දැකීම්.
( කිසිවෙකු කෙරෙහි ද්වේශයෙන් තොරව ලියමි)
ඒ කාලයේ මට වයස 16 කි. එවකට මාගේ පියා වැඩකලේ කොටදෙනියවේ පොල් වත්තකය. පොලොන්නරුවේ තල්පොත ගමේ මාගේ නිවස පිහිටියේ වෙල්යායක් මැද බැවින් එය සැගව සිටින්නෙකුට කදිම ආරක්ශිත තැනකි. රාත්‍රියට අපේ ගමේ සිටි ආයුද සන්නද්ධ සාමාජිකයින්ට අපේ පොලතු සෙවිලි කල කටුමැට් ගෙය නිදා ගැනීමට භාර දී නිවසෙන් බැහැරව යාබද සිරිවර්ධන මාමාලාගේ ගෙදරට යාමට මටත් අම්මාටත් නංගීටත් සිදු වූ වාර අනන්තය.
මා පාසැල් යවන්නට එපා, ඔවුන්ගේ ආන්ඩුවක් ආ විට තනතුරු දෙන්නේ පක්ශයේ අයට පමනක් බවත්, ඉගෙනගෙන වැඩක් නැති බවත් ඔවුහු කීහ. එසේ කී අක්කා තාමත් අපේ ගමේ රැකියාවක් නැතුව සිටින්නේ ඇය 9 පංතියෙන් නැවතුන බැවිනි.
හිගුරක්ගොඩ නගරයේ එක් දිනෙක 26 දෙනෙක් ( නත්තලට පසු දිනක) මරා දමා තිබෙනු දුටිමි. 25 දෙනෙකුටම තමන්ටම පෙට්‍රල් හලා ගන්නට අන කොට ටයර් දමා, තමන්ටම ගිනි තබා ගන්නට අන කොට වෙඩි නොතබාම පන පිටින් පුලුස්සා තිබින. එකෙකු පමනක් ගිනි මැද අසල පිහිටි ( මින්නේරි සිනමා අසලින් ගලන) ඇලට පනින්නට දුවන විට් වෙඩි කා තිබින. ජයන්ති හෝටලය තුල සිට කෑම කමින් මිනිසුන් මේ මිනි පිලිස්සෙන අයුරු බලමින් සිටිනු ජුගුප්සාජනක මෙන්ම බිහිසුනු විය. ( දින දෙකකකට පෙර සන්නද්ධ ,පිරිසක් විසින් එක පව්ලක සියලු සාමාජිකයින් මැරීමට ප්‍රතිචාර ලෙස මෙය කර තිබූ බවට කසු කුසුවක් ඇසින)
පොලොන්නරුවේ අපේ ගමේ හන්දියේ
( B.O. P. 317 හන්දිය) දවස් ගනන් මිනි පිච්චෙනු දාක්කෙමි. බල්ලෝ පිලිස්සුනු මිනි කෑවත් මිනිස්සු අහක බලාගෙන කුබුරු වැඩට ගියෝය. ගමේ ට්‍රන්ස්පෝමටරය හමුදා සෙබලු මුර කරනු මතකය.
දිනක් ආයුද සන්නද්ද පිරිසක් පැම්න මාහට අඩගැසූ විට චූ පොඩ්ඩකුත් ගියා මතකය. ඒ තල්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කඩා එහි තිබූ යතුරුලියන අපේ වත්තට යාබද වත්තේ කූනු ඇල අසල සගවා තිබූ බැවින් එය සොයන්නටය. අත් දෙක වයරයකින් ගැට ගැසූ අපේ ගමේ හාදයෙක් ස්තානය පෙන්නන්නට පැමින තිබින. පිරිස අතර සිටි කෙනෙක් "ලොක්කා බය වෙන්න එපා" අපි කොල්ලාට මුකුත් කරන්නේ නැහැ කියා මා දෙස බලා මගේ තාත්තාට කීවේය. තාත්තා වෙව්ලමින් පසුපස ආවේ ඔවුනගේ කුනුහරප නෑසුනා මෙනි. පොලිතීන් වල ඔතා තිබූ ටයිප්‍රයිටරය මා කුනු ඇල ඉවුර පීරා සොයා ගත්තේ මහා වීර ක්‍රියාවක් කල පරිද්දෙනි. පැය බාගයකින් නැවත පැමිනෙන විට අම්මාට බඩ යන්නට පටන් අරන් තිබින. තාත්තාගේ එදා තිබූ අසරනකම කිසිදා මාගේ මතකයෙන් නොගිලිහේ. ඔවුන් ගිය පසු තාත්තා ඉකි ගසමින් හඩනු තවමත් මට මතක වුවද කිසිදා අපි නැවත එම සිද්දිය ගැන කතා නොකලෙමු.
අරවින්ද හබක්කල.

Comments

Popular posts from this blog

මගෙ දූට අපහාස කල තට්ටයා

දිලීප්ගේ ලේලි.